ජ්‍යොතිෂය, විද්‍යාවෙන් බොරු කළ හැකිද?

ජ්‍යොතිෂය යනු විද්‍යාවක්‌ වුවද වර්තමානයේ ඇතැම් උගතුන් මෙය මිත්‍යාවක්‌ ලෙස බැහැර කරන අතර විවිධ අභියෝග කිරීම් ද කළ අවස්‌ථා කිහිපයක්‌ම විය. එසේ වීමට ඇතැම් ජ්‍යොතිෂවේදීන් යෑයි කියා ගන්නා පිරිස ද හේතුවක්‌ විය. ජ්‍යොතිෂයේ සියලුම කරුණු විද්‍යාත්මකව පැහැදිලි කිරීම හෝ ඔප්පු කිරීම සිදු කළ නොහැකි වුවද ඇතැම් කරුණුවල විද්‍යාත්මකභාවය විග්‍රහ කළ හැකිවේ. ඒ ගැන සුළු පැහැදිලි කිරීමක්‌ මෙම ලිපියෙන් අපේක්‌ෂා කෙරේ.

වෛද්‍ය විද්‍යාව, භූගෝල විද්‍යාව, රසායන, භෞතික විද්‍යා මෙන්ම ජ්‍යොතිෂයද විද්‍යාවකි. එයටද අනෙකුත් සමහර විද්‍යාවන්ටද මෙන් බොහෝ ඈත ඉතිහාසයක්‌ ඇත. ග්‍රහලෝකවල පිහිටීම් අධ්‍යයනය හා එමගින් ඇතිවිය හැකි බලපෑම් විග්‍රහ කිරීම මෙම විද්‍යාවේදී සිදුවේ. විවිධ පුද්ගලයන් තම තමන්ගේ දැනුම අනුව තම අතින් යෙදූ සමහර කරුණු නිසා මෙම විද්‍යාව මිත්‍යාවක්‌ බවට ප්‍රකාශ කිරීමට ඇතැමුන් පෙළඹී තිබේ.

මෙම ලිපියේ දැක්‌වෙන කරුණුවල අන්තර්ගතය ඕනෑම අවස්‌ථාවක විග්‍රහ කිරීම, අභියෝගයට ලක්‌ කිරීම හෝ විවේචනයට විවෘතය.

නවීන තාරකා විද්‍යාව දියුණු වීමටත් පෙර පටන්ම ජ්‍යොතිෂය ඉතා දියුණු මට්‌ටමක පැවැති බවට කරුණු අනාවරණය වී ඇත. නවීන දුරේක්‌ෂවලින් බලා ගණනය කිරීම් කර සොයා ගන්නා ලද ග්‍රහ චලනයන් හා පථයන් අතීතයේ මිනිසුන් පියවි ඇසින් බලා මනසින් ගණනය කරන ලදී. නමුත් ඒවා බොහෝ දුරට සමාන විය. එනම් ඈත අතීතයේ පවා නක්‍ෂත්‍රය දියුණු විද්‍යාවක්‌ ලෙස පැවැතී ඇත.

අප පෘථිවිය මත සිදුවන ඇතැම් සංසිද්ධිවලට ග්‍රහ බලපෑම් සෘජුවම හේතුවී ඇති බව නවීන විද්‍යාවෙන් පවා ඔප්පු වී ඇත. එසේ නම් එම ග්‍රහ බලපෑම් මිනිසාට, සතුන්ට හා ගස්‌වැල්වලට නැතැයි කිව හැකිද? ග්‍රහලෝක කීපයක චලිතය හා පිහිටීම් ජ්‍යොතිෂයේ භාවිත වුවද පියවි ඇසින් දැකිය හැකි සමහර සංසිද්ධි මගින් ජ්‍යොතිෂයේ ඇතැම් කරුණු විද්‍යාත්මකව ඔප්පු කළ හැකිය. ලෝකයේ සිදුවන ඇතැම් සංසිද්ධිවල යම් යම් රටාවන් දැකිය හැකිවේ. එවැනි රටාවන් හා ග්‍රහ රටාවන් ගැන අධ්‍යයනය කළ පැරණි උගතුන් එමගින් යම් යම් කරුණු විග්‍රහ කරන ලදී.

ජ්‍යොතිෂයේ ප්‍රධානම තැනක්‌ හිමිවන ග්‍රහ ලෝකයකි සඳ. සඳට අනුව ජ්‍යොතිෂයේ බොහොමයක්‌ කරුණු තීරණය කරයි. කෙනෙකු උපන් නැකත, තිථිය, ශුභ වේලාවන් ආදිය සඳහා සඳ ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනී.

සඳ මගින් පෘථිවිය මත ජීවයට හා ගස්‌වැල්වලට ඇතිකරන බලපෑම් නිසා සඳට ජ්‍යොතිෂයේ ප්‍රධාන ස්‌ථානයක්‌ ලබා දී තිබේ. සඳ මගින් පෘථිවිය මත ඇතිකරන බලපෑම් ඇතැම් සංසිද්ධි මගින් විද්‍යාත්මකවද ඔප්පු වී තිබේ. පෘථිවියේ භ්‍රමණ වේගයට පවා සඳ මගින් සෘජු බලපෑම් ඇති කළ හැකිය. ඒසේ නම් ජීවී මනසට සඳ මගින් බලපෑමක්‌ නැතැයි කිව හැකිද? පසළොස්‌වක පොහොය කිට්‌ටුවන විට මානසික රෝගීන්ගේ අසනීප තත්ත්වයන් උත්සන්න වන බවත් සමහර රෝගීන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වන බවත් නවීන විද්‍යාවේ පවා පිළිගනී. ගස්‌බෙනවල කූඩු තනා පැටවුන් දමන කුරුල්ලන්ගේ පැටවුන් ඉගිලී යන්නේද පසළොස්‌වක පොහොය දිනයේ හෝ ඒ ආසන්න දිනයකදීය. එසේනම් සඳේ බලපෑමක්‌ ජීවීන්ට නැතැයි කියන්නේ කෙසේද? පෘථිවිය මත ඇතැම් සංසිද්ධි වන වඩදිය බාදිය ඇතිවීම, සමහර ශාකවල මල් ඇතිවීම, සමහර අවස්‌ථාවන්හිදී වී බොල්වීම, මිනිසුන්ගේ මනසෙහි වෙනස්‌කම් ඇතිවීම, සත්ත්වයන්ගේ චර්යා රටාවන්හි වෙනස්‌කම් ඇතිවීම වැනි දේවල් සඳහා චන්ද්‍රයා කෙලින්ම දායක වන බව විද්‍යාත්මකව සනාථ වී ඇත. එසේනම් චන්ද්‍රයාට අනුව ජ්‍යොතිෂය මගින් විවිධ රටාවන් අධ්‍යයනය කර සමහර සංසිද්ධි විග්‍රහ කිරීම මිත්‍යාවක්‌ යෑයි කිව හැකිද?

එසේම අනෙක්‌ ප්‍රධාන ග්‍රහයා සූර්යා වේ. මේ ලෝකයේ බොහොමයක්‌ සංසිද්ධීන් පාලනය කිරීම සූර්යයා විසින් සිදු කරයි. එවැනි ග්‍රහයකු ප්‍රධානකොට යම් යම් රටාවන් හා සංසිද්ධි විග්‍රහය මිත්‍යාවක්‌ ලෙස බැහැර හැරිය හැකිද? පෘථිවිය මත විවිධ සෘතු ඇතිවීම සූර්යයාගේ හා පෘථිවිය අතර සාපේක්‌ෂ චරිතයේ ප්‍රතිපලයක්‌ වේ. එවැනි රටාවන් අධ්‍යයනය කරමින් ජ්‍යොතිෂයේදී ඇතැම් මාස සමහර කටයුතු සඳහා නුqසුදුසු බව විග්‍රහ කර තිබේ. එවැනි කරුණක විද්‍යාත්මක සත්‍යතාවක්‌ පැවැතිය නොහැකිද?

ජ්‍යොතිෂයේ යම් යම් ශුභ කටයුතු කිරීමේදී දහවල් කාලයේ දී සූර්යයා එකළොස්‌ වැන්නෙත්, රාත්‍රියේ නම් චන්ද්‍රයා එකළොස්‌ වැන්නෙන් තබා කටයුතු කිරීම ඉතා හොඳ යයි පැවැසේ. එහි විද්‍යාත්මක සත්‍යතාවයක්‌ ඇති බව පැහැදිලි වේ. එකොළොස්‌ වැනි කොටුවේ සූර්යයා පිහිටන්නේ උදේ 10 ට ආසන්න වේලාවකදීය. එවැනි වේලාවක මධ්‍යම ප්‍රමාණයක සූර්ය තාපයක්‌ පවතී. සිරුරට පවා අසහනයක්‌ නොමැත. චන්ද්‍රයා 11 වැනි කොටුවේ පිහිටන්නේ ක්‍ෂිතිජයෙන් උදාවී පැය කිහිපයකට පසුවය. එවිට අහසේ යෝග්‍ය ස්‌ථානයක සිට සඳඑළිය යෝග්‍ය කෝණයකින් පෘථිවියට වැටේ.

වෛද්‍ය විද්‍යාවේදී දරුවකු උපදින වේලාව හා දිනය සටහන් කරයි. වේලාව හා දිනය යනු මිනිසුන් විසින් භාවිත කරන්නාවූ සම්මතයකි. එසේ නම් ජ්‍යොතිෂයට අනුව භාවිත වන සම්මතයක්‌ වන උදා වෙමින් පවත්නා තරු රටාව හෙවත් ලග්නය සටහන් කර ගැනීම මිත්‍යාවක්‌ වේද?

මෙහිදී ඉහත සඳහන් කළ හිරු හා සඳු මගින් ඇතිවන බලපෑම් අපට පෙනෙන, දැනෙන ඒවා වේ. මේ ආකාරයටම අනෙකුත් විශාල ග්‍රහලෝකවල බලපෑම් තිබේ. නමුත් එවැනි බලපෑම් විග්‍රහ කිරීමට හැක්‌කේ ජ්‍යොතිෂය නම්වූ විද්‍යාවෙනි. ඕනෑම ස්‌කන්ධ දෙකක්‌ අතර බලය විද්‍යාවේදී විග්‍රහ කරනුයේ

F = G.m1.m2/r.r

ලෙස වේ. එනම් නිවුටන්ගේ නියමයක්‌ වන ඉහත සමීකරණය මගින් වස්‌තු දෙකක්‌ අතර බලයක්‌ පවතින බවත් එය එම වස්‌තුවල ස්‌කන්දය හා ඒවා අතර දුර අනුව ර¹ පවත්නා බවත් විග්‍රහ කරයි. එසේ නම් බ්‍රහස්‌පති වැනි විශාල ග්‍රහයන් සෙනසුරු, සිකුරු වැනි ග්‍රහයන් හා පෘථිවිය අතර බලයක්‌ ඇතිවන බවත් එමගින් යම් යම් සංසිද්ධි ඇතිවන බවත් පැහැදිලි වේ. එම බලපෑම්වල ස්‌වභාවය එම ග්‍රහයින්ගේ පථය අනුව පෘථිවිය හා ඇති දුර අනුව අඩු වැඩිවන බව ඉහත සමීකරණය මගින් පැහැදිලි වේ. ඉහත සමීකරණය සොයා ගැනීමටත් පෙර පටන්ම එවැනි බලපෑම් ගැන විග්‍රහ කළ එකම විද්‍යාව ජ්‍යොතිෂ විද්‍යාව වේ. වර්තමානයේ ඇතැම් අය නවීකරණය කිරීමට ගොස්‌ ජ්‍යොතිෂයේ ඇතැම් කරුණු පමණක්‌ මිත්‍යාවක්‌ බවට පත්වී තිබේ. නමුත් ජ්‍යොතිෂය යනු නවීන විද්‍යාව මෙන්ම නිවැරදි දර්ශනයකි. විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි සියල්ල බොරු යෑයි කිව හැකිද? මේ ලෝකයේ විද්‍යාවට එහා ගිය සංසිද්ධීන්ද පවතින බව තේරුම් ගත යුතුවේ. එවැනි දේවල් විශ්වාස කළ නොහැකි වුවද මිත්‍යාවක්‌ ලෙස බැහැර කළ නොහැකිය.

Leave a Reply